December 5, 2024

Kathikawa # 98 – Budget Proposal to Combine Certain Local Councils

ප්‍රාදේශීය සභා නගර සභා එක් කිරීමේ යෝජනාව | September 12, 2022

https://www.facebook.com/nationalmovementforsocialjustice/videos/360224366319562/?sfnsn=mo

MODERATOR: Dr. Sujata Gamage

PANEL:

  • Mr. Dharmsiri Nanayakkara, Former Deputy Commissioner for Local government, Western Province   
  • Mr. Wijesiri Ekanayake, Chairman, Kuliyapitiya Pradeshiya Sabha
  • Mr. Lakshman Adhikari, Chairman, Kuliyapitiya Urban Council

සන්ධර්භය

 2022 අතුරු අයවැය යෝජනා අංක 10.4 මගින් පහත සඳහන් යෝජනාව ඉදිරිපත්ව ඇත.  “ආදායම් මාර්ග බහුල පළාත් පාලන ආයතන මෙන්ම, ප්‍රමාණවත් ආදායම් මාර්ග නොමැති ආයතන ද පවතිනවා. එබැවින් වඩා කාර්යක්ෂම මහජන සේවයක් සැලසීම හා පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ආරම්භයක් වශයෙන් තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් එම ප්‍රාදේශීය සභාවලට ආසන්නයේම පිහිටි නගර සභාවට හෝ මහ නගර සභාවට ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා. මේ සඳහා ප්‍රාදේශීය සභා 22 ක් තෝරාගෙන තිබෙනවා. එම පළාත් පාලන ආයතන ඇමුණුම VII හි දක්වා තිබෙනවා. 

(මූලාශ්‍රය: https://www.treasury.gov.lk/api/file/ab7a42fb-3838-47d4-b788-941e93c8db8a)

කතිකා සාරාංශය

  1. යෝජිත ප්‍රාදේශීය සභා හා නගර/මහා සභා එකතු කිරීමට පදනමක් නැත. එය  කිසිසේත් අනුමත කළ නොහැක.
  2. පළාත්  පාලන ආයතන වර්ගකිරීම හා සීමා නිර්ණය ක්‍රමානුකූලව නිසි බලධාරීන් යටතේ සිදු විය යුතුය.
  3. ප්‍රාදේශීය  සභාවල ආදායම වැඩි කිරීම සඳහා වැටුප් ප්‍රතිපූර්ණ, දඩ හා බලපත්‍ර ගාස්තු එකතු කර ගැනීම, සංවර්ධන ප්‍රතිපාදන ලබා දීම මෙන්ම වරිපනම් එකතුව වැඩි කිරීම  හා ස්වයං උත්පාදන  දියුණු කිරීම  යන කරුණු වලට අවධානය දිය යුතුයි. 
  4. පළාත් පාලන ආයතන පිළිබඳ මධ්‍යම රජය විසින් තීන්දු තීරණ ගැනීමේදී පළාත් සභා නොමැති විට අවම වශයෙන් පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ අනු දැනුම ඇතිව එම තීරණ ගත යුතුයි.  

වැඩි විස්තර

ආචාර්ය සුජාතා ගමගේ  මහත්මිය මාතෘකාව හඳුන්වා දෙමින් අතුරැ අයවැය ආරම්භයේදී  එය තාර්කික පදනමකින්, එනම් ප්‍රශ්නය, ප්‍රශ්නයට හේතුව, හේතුව නිවාරණය හා නිවාරණ මග. ලෙස  ඉදිරිපත් කර ඇති බව කීවත්, පලා ත් පාලනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමේදී පළාත් පාලන  පාලන ආයතන වලට  ප්‍රමාණවත් ආදායම් මාර්ග නොමැති කම ප්‍රශ්නය ලෙස හඳුන්වා දුන්නත් විසදුමට තාර්කික පදනමක් ඇති බව පෙනෙන්නට නැතැයිද, අද දින සංවාදයෙන් එම ප්‍රශ්නයට  පාර්ශව කරුවන්ගේ අදහස්  ලබා ගෙන යම් පැහැදිලි  කිරීමක් ලබා ගැනීම  කතිකාවේ අරමුණ බව පැහැදිලි කළාය .

පළාත් පාලන  ආයතන එක් කිරීමේ යෝජනාව බිම් මට්ටමේ යථාර්තය ගැන දැනුමක් හෝ තැකීමක් නොමැතිව කරන ලද යෝජනාවක් බව  සම්පත් දායකයින්ගේ ඒකමතික අදහස විය. බැලු බැල්මට පෙනෙන්නේ  එකම නම ඇති සභා එක් කිරීමේ බොළඳ උත්සාහයක් බවත්,  මෙවැනි කාර්යයන් වඩා ක්‍රමානුකූලව වගකීමකින්යුතුව කළ යුතු බවටත් සංවාදයේදී අදහස් ප්‍රකාශ විනි. මෙම යෝජනාව  පිටිපස යම්  දේශපාලනමය අවශ්‍යතාවයක් ඇතැයි සැක පහල වුවත් එවැන්නක් පිළිබඳව ස්ථිර අදහසක්  ඉදිරිපත් නොවුනි. 2023 මාර්තු මසට පෙර පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා අවශ්‍ය වන්නේ ප්‍රාදේශීය සභා ගණන අඩු කිරීම  හෝ නාගරික ප්‍රදේශ වැඩි කිරීම නොව සමස්ත සභිකයින් ගණන අඩු කිරීම සඳහා  පළාත් පාලන කොට්ඨාස වල  නව සීමා නිර්ණයක් කිරීම බවටද අදහස් ප්‍රකාශ කෙරිණි. 

2017 දී පොළොන්නරු  දිස්ත්‍රික්කයේ  තමන්කඩුව ප්‍රාදේශීය සභාව දේශපාලන උවමනාවන්  මත පොලොන්නරුව මහ නගර සභාව බවට පත් කර බවත් ඉන් පසුව මහා නගර සභා, නගර සභා, හා ප්‍රාදේශීය සභා වර්ගීකරණය සඳහා වරිපනම් ඒකක ප්‍රති ශතය ආදිය ඇතුළු නිර්ණායක ඇති කළ බව ධර්මසිරි නානයක්කාර මහතා පෙන්වා දුන්නේය. 

වත්මන් යෝජනාව ඇත්තෙන්ම නිසි අධ්‍යයනයකින් තොර කල යෝජනාවක් බවත්, එහිදී  භූ විෂමතාවය, ආදායම, ජනගහනය සහ දියුණුව සලකා බලා නැති බව ඔහු පැවසුයේය. ඇත්තෙන්ම  ප්‍රාදේශීය සභා වල  ඇති යම් නාගරීකරණය  වූ ප්‍රදේශ නගර සභා වලට හෝ මහා නගර සභා වලට එක් කිරීම සිදු විය යුතු  බවත් දැනටමත් එවැනි ක්‍රියාවලියක් පවතින බව ඔහු පෙන්වා දුනි.. උදාහරණ ලෙස කළුතර ප්‍රාදේශීය සභාවෙන් යම් කොටස් කළුතර  නගර සභාවට එක් කිරීමට සාකච්ඡා පැවතෙමින් ඇත. එකම නම නොතිබුනත් ගාල්ල මහනගර සභාවට ආසන්න බෝපේ-පෝද්දල ප්‍රාදේශීය සභාව හෝ ඉන් යම් කොටසක් ගාල්ලට  ඈදීම වැනි වෙනත් එක් කිරීම්  ගැනද  සිතිය යුතුය. ඇත්තෙන්ම සමස්තයක් ලෙස  ක්‍රමානුකූව  නව සීමා නිර්ණයක් සහිතව සියලු පළාත් පාලන ආයතන වල ප්‍රතිව්‍යුහකරණයක් සිදු කළ යුතු බවද ඔහු පැවසීය.

සභා දෙකක් එකතු කිරීම දුෂ්කර බව ඔහු තව දුරටත් පෙන්වා දුනි. නගර සභාවක මුළු ප්‍රදේශයම  වරිපනම් කලාපයක් වන අතර සියළුම ඉදිකිරීම් වලට හා ඉඩම් වලට වරිපනම් ගෙවිය යුතුයි. ප්‍රාදේශීය සභා වල වරිපනම් ගෙවිය යුත්තේ ඇතැම් කලාප වල පමණි. මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ප්‍රාදේශීය සභාවල වරිපනම් ගෙවිය නොහැකි ජනතාව දුෂ්කරතාවයන්ට පත්වීමට ඉඩ ඇත.

ඇත්තෙන්ම ප්‍රාදේශීය, නගර හා මග නගර ලෙස වත්මන් නාමකරණයේ ප්‍රශ්න  ඇත. ඒවා නිරාකරණය කිරීමට සීමා නිර්ණය කමිටුවක් පත් කල යුතුය. දිස්ත්‍රික් ලේකම්, මිනින්දෝරු අධිකාරී, පලාත් සභා කොමසාරිස් සහ සංඛ්‍යාලේඛන නිලධාරීන් එහි සාමාජිකයින් විය යුතුය. හිතුමතේ තීරණ ගැනීමෙන් දැනට ප්‍රාදේශීය සභාවල සිටින වරිපනම් ගෙවිය නොහැකි  ජනතාවගේ දේපොළ රාජසන්තක විය හැකිය.

කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ  තත්වය පැහැදිලි කරමින් එහි සභාපති විජේසිරි ඒකනායක මහතා විසින් කුලියාපිටිය නැගෙනහිර හා බටහිර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ග්‍රාම නිලධාරී වසම් 110 ක් ඇති බවත් කුලියාපිටිය නගර සභාවට ඉන් අයිති වන්නේ ග්‍රාම නිලධාරී වසම් තුනක් පමණක් බවත් කීවේය. ඇත්තෙන්ම දැනටමත් ප්‍රාදේශීය සභාවේ නාගරීකරණය වූ ග්‍රාම නිලධාරී වසම් 20 ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ඇති බවත්, එහි දිගුවක් ලෙස ප්‍රාදේශීය සභාවේ යම් කොටස් නගර සභාවට එක් කළ හැකි බව ඔහු  සඳහන් කරන ලදී. නමුත් සභා දෙක මුළුමනින්ම ඈදීම තේරුම් ගත නොහැකි බව ඔහු පැවසීය.

කුලියාපිටිය නගර සභාවේ තත්වය පැහැදිලි කරමින් එහි සභාපති ලක්ෂමන් අධිකාරී මහතා විසින් නගරයේ ජනගහනය 15,000-17,000 දක්වා පමණ වුවත් ලක්ෂයක පමණ පාවෙන ජනගහනයක් නගරයට පැමිණෙන බව සඳහන් කළේය. ඇත්තෙන්ම නගරයට දැනට ලැබෙන ආදායම, විශේෂයෙන්  ජල පිරිපහදුව යාවත්කාලීන කිරීම වැනි සංවර්ධන කටයුතු වලට අවශ්‍ය වන වියදම් සමග ගත්කල,  නගරයට ප්‍රමාණවත් නොවන බව  සඳහන් කළේය. 

මහරගම නගර සභාවේ සභික චන්ද්‍රිකා ඩි සොයිසා, හම්බන්තොට මහා නගර සභාවේ නියෝජ්‍ය සභාපති ගාමිණී ශ්‍රී ආනන්ද, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා  හිටපු සභාපති පාලිත ලිහිනියකුමාර සහ හිටපු පලාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලකරාජා මයිල්වාගනම් යන මහත්ම මහත්මීන්ද   අදහසක් දැක්වීය. 

මහරගම මහ නගර සභාවට මුදල් ඇතත් ව්‍යපෘති ක්‍රියාමක කිරීමට ඉහලින් බාධා ඇති බව සොයිසා මහත්මිය සඳහන් කළාය. තිලකරාජා මහතා සඳහන් කළේ 2012 ට පෙර යම් යම් වතු නුවරඑලිය මහා නගර සභාවට අයත් වුනත් 2012 දී ඒවා අයින් කල බවත්, දැන්  නැවත ඒවා එකතු කිරීමට යෝජනා වී ඇති බවත්ය. ඇත්තටම මෙවැනි වෙන් කිරීම් එක්  කිරීම් වඩා ක්‍රමානුකූලව සිදු  විය යුතුයි. වෙනත් සභා වලත් සීමා නිර්ණ ප්‍රශ්න තියෙනවා. උදාහරණ ලෙස කොටපොල, හැටන් හා නෝර්වුඩ් පළාත් පාලන ආයතන සීමා පිළිබඳව  බරපතල ප්‍රශ්න තිබෙනවා. 

ස්වාධීන  සීමා නිර්ණ කොමිසම් සභාවේ වගකීම

ක්‍රමවත්  සීමා නිර්ණයක අවශ්‍යතාවය පැහැදිලි වූවත් එය දේශපාලන ඇඟිලි ගැහීම් වලින් තොරව සිදු කළ හැකිද යන්න පිළිබඳව ප්‍රශ්න මතු විය. පළාත් පාලනය යනු පළාත් සභා  සතු විෂයයක් වුවත්, පළාත් පාලන ආයතන ගණන හෝ එම සීමාවන් හා  එම ආයතන වල කොට්ඨාස ගණන හා සභිකයන් ගණන තීරණය කිරීමේ  බලය ඇත්තේ විෂය භාර ඇමැතිවරයාටය. පළාත් පාලන සීමා නිර්ණය කමිටු පත් කිරීම් බලය ඇත්තේද ඇමැතිවරයාටය. 2012  පත් වූ පළාත් පාලන සීමා නිර්ණ කමිටුවේ පක්ෂග්‍රාහී බවට චෝදනා හා දෙවනුව 2015 දෙසැම්බර් මාසයේදී  දී එම චෝදනා පිළිබඳ  විභාග කිරීමට පත් කළ කමිටුව හා ඇමතිවරයා අතර ඇතිවූ  ප්‍රශ්න සලකා බැලීමේදී සියලු සීමා නිර්ණ කටයුතු ඒ සඳහා ව්‍යවස්ථාවෙන් පත් කළ ඇති ස්වාධීන කොමිෂන් සභාවට පැවරෙන ලෙසට  නීති වෙනස් කළ යුතු නොවේද යන්න සුජාතා ගමගේ  මහත්මිය විසින් මතු කරන ලදී.

ප්‍රාදේශීය සභා වල ආදායම වැඩි කිරීම 

පළාත් පාලන ආයතන වලට  ආදායම් මාර්ග හෝ සේවා පහසුකම් මාර්ග  කිහිපයකි. -(1) මධ්‍යම රජයෙන් ලැබෙන වැටුප් ප්‍රතිපූරණ  (2) වරිපනම් බදු සහ හෝ අක්කර බදු (3) දඩ මුදල් හා  බලපත්‍ර  ගාස්තු  (3) මධ්‍යම රජයෙන් යම් විශේෂ ව්‍යපෘති සඳහා ලැබෙන ප්‍රතිපාදන (4) ස්වයං උත්පාදන හා  (5) ආදායම් මාර්ගයක් නොවුනත් අසල් වාසී සභා සමග අවබෝධතාව හෝ අවබෝධතා  ගිවිසුම් මගින් යම්  සේවා ලබා ගැනීම. 

ඇත්තෙන්ම කාර්ය මණ්ඩලයේ වැටුප් ගෙවා ගත නොහැකි සභා තිබේ යයි නානායක්කාර මහතා පැවසීය. ස්ථිර සේවකයන්ගේ වැටුප් පමණක් පලාත් පාලන ආයතනයෙන් ප්‍රතිපූර්ණය කරන අතර, අනෙකුත් වැටුප් මහජන බදු මුදලින් ගෙවීමට සිදුවේ. මුලදී ප්‍රාදේශීය සභා වල වැටුප් වලින් 90% ක්, නගර සභා වලින් 75% ක් හා  මහ නගර සභා සදහා 10% වන ලෙස වැටුප් ප්‍රතිපූර්ණ නිර්ණායක පැවතිනි. පළාත් සභාවලට වැටුප් ප්‍රතිපූරණය බලය ලැබීමෙන් පසු එම නිර්ණායක ක්‍රියාත්මක වන බවක් පෙනෙන්න නැත.  

දැනට පවතින වරිපනම් එකක ගණන 1400 සිට 5000 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව කුලියාපිටිය ප්‍රාදේශීය සභාපති පැවසුවේය. උසාවි වලින් අය කරන දඩ මුදල් හා පළාත් ` සභාවෙන් අය කරන බලපත්‍ර ගාස්තු පළාත් සභා හරහා පළාත් පාලන ආයතන වලට ලැබීම ප්‍රමාද  වන බවත් පෙන්වා දෙනි.  සපිරි ගම හෝ ගම සමග පිළිසඳර හා වෙනත් නොයෙකුත් ව්‍යපෘති හරහා මධ්‍යම රජයෙන් ලැබෙන ප්‍රත්පාදන වඩා ක්‍රමවත්ව ලැබිය යුතු බවද ඔහු විසින් අවධාරණය කරන ලදී. 

සංවර්ධන ව්‍යපෘති ඉහලින් තීන්දු කර පහලට  එවිමේ ආදීනව පෙන්වන  උදාහරණයක් ලෙස කුලියාපිටිය  නගර සභා සභාපතිවරයා සඳහන් කරේ තම  බල ප්‍රදේශයට කෝටි එකොළහක වියදමෙන් පොදු වෙළඳ  පලක් ලබා දීමට අනුමතකර ඇති බවට තම සභාවට දැන්වූ විට , තමන්ට ප්‍රමාණවත් වෙළඳ පලක් ඇති බවට ප්‍රති-දැන්වීමක් කළත් මධ්‍යම  ආණ්ඩුව විසින්  බලෙන් එවැන්නක් පිහිට වූ බවත් අදට එය අසාර්ථක වී ඇති බවත්  සඳහන් කළේය. තමන්ගේ සභාවේ දේශපාලන බලය  දිගු කලක් පළාතේ හෝ රටේ පවතින දේශපාලන බලයට  වෙනස් වීම නිසා සංවර්ධන ප්‍රතිපාදන තම  සභාවට නොලැබෙන බවත් සංවර්ධන ප්‍රතිපාදන බෙදා හැරීමේ විධිමත්   ක්‍රමයක් තිබිය යුතු බවට ඔහු විසින්ද යෝජනා කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *