කෙතේ සිට බත දක්වා විසඳාගත යුතු ප්‍රශ්න (ගොවියා, ව්‍යපාරිකයා සහ පාරිභෝගිකයා මුහුණ දෙමින් සිටින ගැටළු) | Mar 03, 2024
FULL VIDEO : https://web.facebook.com/nationalmovementforsocialjustice/videos/365423469619534
MODERATED BY : Prof. Rohan Samarajiva
PANEL:
Dr. Harsha de Silva, MP, SJB Parliament of Sri Lanka
Mr. Mudith Perera, President, United Rice Growers Association
Senior Prof. Buddhi Marambe, University of Peradeniya
කෙතේ සිට බත දක්වා විසඳා ගත යුතු ප්‍රශ්න
ශ්‍රී ලංකාවේ වී ගොවියා, සහල් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා මුහුණපාන ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු තිරසර පියවර පිළිබඳ විශේෂ කතිකාවක් ‘කෙතේ සිට බත දක්වා විසඳා ගත යුතු ප්‍රශ්න – ගොවියා, සහල් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා මුහුණ දෙමින් සිටින ගැටලු’ මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලදි. Zoom තාක්ෂණය ඔස්සේ සිදු වූ මෙම සංවාදයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ, සහල් නිපදවන්නන්ගේ එක්සත් සංගමයේ සභාපති මුදිත පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහි දී සිය අදහස් දක්වන ලදි. එම සංවාදය මෙහෙයවන ලද්දේ මහාචාර්ය රොහාන් සමරජීව විසිනි. එකී සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
රට සහල්වලින් ස්වයංපෝෂිත වුණත් ගැටලුව අඩුවක් නෑ -මහාචාර්ය බුද්ධි මාරඹේ
“මම මේ සාකච්ඡාවේදී අපේ සමස්ත කෘෂිකර්මාන්තය ගැන අවධානය යොමු නොකර වී වගාව, සහල් සහ බත ගැන අවධානය යොමු කිරීමට කැමතියි.
1940 වන විට පැවැති දෙවැනි ලෝක යුද්ධයේ බලපෑමත්, ඊට කලින් සිදුවූ විදේශ ආක්‍රමණ හේතුවෙන් සහ වැවිලි කෘෂිකර්මාන්තයට ප්‍රමුඛස්ථානය ලබාදීම නිසා අපේ රටේ ජනතාවට අවශ්‍ය මූලික ආහාරවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට බ්‍රිතාන්‍ය පාලකයින්ට සිදු වුණා. 1940 දශකය වන විට අපේ සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ 650ක් වැනි මට්ටමකයි පැවතුණේ. නමුත් 1950 දශකය ආරම්භයේදී හරිත විප්ලවයේ බලපෑම හේතුවෙන් වී වගා ක්ෂේත්‍රයේත් විප්ලවයක් සිදු වුණා. ඒ අනුව 1958 වන විට අපට පළමු වරට H4 කියන වී වර්ගය නිපදවලා ගොවීන්ට ලබාදීමට හැකි වුණා. වී වගාව තුළ සිදු වුණ මේ ‘ගැම්ම’ දිගින් දිගටම පැවතීමේ ප්‍රතිඵලයක් ලෙස 2020 වන විට හෙක්ටයාරයකට වී කිලෝ 4500ක් ලබා ගන්නා තත්ත්වයට දක්වා ගමන් කර තිබෙනවා. මෙහි ගෞරවය සම්පූර්ණයෙන්ම වාගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හිමිවිය යුතුයි. එහි සේවය කරන කෘෂි විද්‍යාඥයෝ තමයි සිය පූර්ණ කැපවීම මත මේ ජයග්‍රහණය ලබා දුන්නේ. ඒ වගේම මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ විවිධ පර්යේෂණ ආයතනවලිනුත් සහාය ලැබුණා. එසේම ගොවිජනතාව මේ නව දැනුම වැළඳ ගත්තා.
මේ ක්‍රියාවලිය සිදුවන විට විවිධ බාධා ඇති වුණා. ලංකාවේ මුලින්ම පොහොර සහනාධාරයක් ලබා දුන් බව වාර්තා වන්නේ 1951-52 කාලේ. ඒක කෙටි කාලීන වැඩපිළිවෙළක් බවයි වාර්තා වන්නේ. ඊට පස්සේ 1962 දී පොහොර සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ විවිධ රජයන් නොයෙකුත් ආකාරයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. අද අපි ඒ සම්බන්ධ තීරණාත්මක තැනකට පැමිණ තිබෙනවා. මෙහිදී වැදගත් කරුණක් ගැනත් සඳහන් කළ යුතුයි. ඒ තමයි ලංකාවේ වගා කරන්නේ ‘අප විසින්ම වැඩි දියුණු කළ’ වී වර්ග වීම. ලංකාව සහල් ආනයනය කළාට වී ආනයනය කරන්නේම නැහැ.
කෙතේ සිට බත දක්වා කතා කරන විට මෙම සමස්ත ක්‍රියාවලියේ තිබෙන වැදගත් අංගයන් ගැන කතා කළ යුතුයි. වී වගාවට අවශ්‍ය පාරිසරික තත්ත්වයන් සේම වී වගා කිරීමට අදාළ යෙදවුම් ද ගොවියාට නිසි කලට වේලාවට ලැබිය යුතුයි. මේ ක්‍රියාවලිය තුළ සිදුවන අඩු ලුහුඩුකම් හේතුවෙන් තමයි මෑත කාලයේදී අපට නොයෙකුත් ගැටලුවලට මුහුණපාන්න සිදු වුණේ.
මෙහිදී දේශගුණික විපර්යාස ගැනත් යමක් කතා කළ යුතුයි. දේශගුණික විපර්යාස කියන්නේ ‘සිදු වෙමින් පවතින’ දෙයක්. දේශගුණික විපර්යාස හේතුවෙන් සිදු වන ප්‍රමුඛ දෙයක් තමයි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. එය වී වගාවට ඍජුව බලපෑම් කරන නිසා අපි දේශගුණික විපර්යාස ගැන හොඳින් දැනුම්වත්ව සිටිය යුතුයි. ඊට හේතුව වන්නේ උෂ්ණත්වය ඉහළ යාම ඇතුළු ආන්තික පාරිසරික කරුණු හේතුවෙන් වී අස්වැන්නට ඍජුව ඍණාත්මක බලපෑම් සිදුවිය හැකියි. විශේෂයෙන් අස්වැන්න ‘බොල්වීම’ වැනි අහිතකර දේවල් සිදුවිය හැකියි.
ඒ වගේම තවත් වැදගත් කරුණක් මෙහිදී සිහිපත් කළ යුතුයි. පසුගිය පෙබරවාරි 15 වැනිදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ‘බෝග පුරෝකථනය’ අනුව අපට රසායනික පොහොර තහනමට කලින් 2020 වර්ෂයේ මහ කන්නයේ වාර්තා වූ වී අස්වැන්න කරා ළං වීමට නොහැකිව තිබෙනවා. තවමත් වී අස්වැන්නේ 10%ක පමණ අඩුවක් තිබෙනවා. මෙවැනි අහිතකර තත්ත්වයක් තුළ දේශගුණික විපර්යාසවලිනුත් අහිතකර බලපෑමක් සිදුවෙනවා නම් බරපතළ කඩාවැටීමක් සිදුවිය හැකියි.
මෙහිදී අපි මෙම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් ගැනත් අවධානය යොමු කළ යුතුයි. අපිට මොකක්ද මේ සඳහා කළ හැකිවන්නේ ? ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ ඉහළ උෂ්ණත්වයට, විශේෂයෙන් වියළි තත්ත්වයන්ට ඔරොත්තු දෙන වැඩි දියුණු කළ වී ප්‍රභේද අපේ ගොවිජනතාවට හඳුන්වාදීමට පියවර ගත යුතුයි. අපි මේ වන විට වියළි කාලගුණ තත්ත්වයන්ට මනාව ඔරොත්තු දෙන මාස දෙකහමාරේ (දින 80) වී ප්‍රභේද කිහිපයක්ම හඳුන්වාදී තිබෙනවා.
ඒ වගේම තමයි වී නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ‘සමස්තය දෙස බලා තීරණ ගැනීම’ අතිෂය වැදගත් වෙනවා. අපි සෑම අවස්ථාවකදීම තීන්දු – තීරණ ගන්නේ ගොවියා සහ පාරිභෝගිකයා යන අන්ත දෙක දෙස බලලා පමණයි. වී වගාව කරන විට සමස්ත අවධානය යොමු වන්නේ ගොවියා වෙත. වී අස්වැන්න නෙළන අවස්ථාවේ වැඩි අවධානයක් යොමුවන්නේ පාරිභෝගිකාය වෙත. නමුත් මේ අන්ත දෙක දෙස බලා පමණක් තීන්දු – තීරණ නොගෙන සමස්ත ක්‍රියාවලිය දෙස බලා තීන්දු – තීරණ ගැනීමට හැකි නම් මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රශස්ත ලෙස පවත්වා ගෙන යා හැකියි”
කීරි සම්බා වී ගොවිතැන විනාශ කළා – සහල් නිපදවන්නන්ගේ එක්සත් සංගමයේ සභාපති මුදිත පෙරේරා
“ මේ වන විට ලංකාවේ සහල් මිල 2022 මැයි මාසේ පනවන ලද ගැසට් නිවේදන දෙකකට හිර කරලා තිබෙනවා. ඒ අනුව නාඩු සහල් කිලෝව රුපියල් 220 සීමාවෙත්, සම්බා සහල් කිලෝව රුපියල් 230ක සීමාවේ සහ කීරි සම්බා කිලෝව රුපියල් 260ක සීමාවේ හිරකරලා තිබෙනවා. නමුත් වර්තමානයේ තිබෙන්නේ 2022 දී තිබුණ පිරිවැය, ඒ කියන්නේ සහල් නිෂ්පාදන තත්ත්වයන් නොවෙයි. 2022 දී වී මිල දෙගුණයක් කරලා සහල් මිලත් ඊට සමගාමීව ඉහළ දැමීමට රජය පියවර ගත්තා. මේ වන විට සියලුම යෙදවුම් මිල ගණන් ඉහළ ගිහින් තිබුණත් අදත් ගොවියට ලැබෙන්නේ 2022 දී වී වලට ලැබුණ මිලටත් වඩා අඩු මිලක්. මේ වන විට කිසිම ආකාරයක වී මිලදී ගැනීමක් නොකරන ආණ්ඩුව ‘නාමමාත්‍රික’ වී මිලක් නියම කර තිබෙනවා. 2022 සහතික මිලට වී ටික විකුණන ගොවියා ඒ සල්ලි අරන් කඩේට යද්දී සබන් කැටය, සීනි ටික, පරිප්පු ටික 2022 මිලට නැහැ.
මහවැලි ප්‍රදේශවල තිබෙන්නේ හෙක්ටයාරයේ, නැතිනම් අක්කර දෙකහමාරේ කුඹුරු. මේ කුඹුරකින් සාමාන්‍යයෙන් වී කිලෝ 5000ක පමණ අස්වැන්නක් තමයි ලැබෙන්නේ. වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 60කට ආසන්න නිෂ්පාදන වියදමක් යනවා. වී කිලෝවක් රුපියල් 100 ගානේ හරි විකිණුවොත් ගොවි පවුලකට සාමාන්‍යයෙන් කන්නයකට, මාස හයකට ලැබෙන්නේ රුපියල් 200,000ක් වාගේ ශුද්ධ ආදායමක්. ඒ කියන්නේ ගොවි පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 33,000ක් විතර වෙනවා. මේ වාගේ සොච්චම් ආදායමකින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් ද ? මේ ගැන ඇත්ත කතාව අද ගොවිජනපදවල උකස් කඩවලට ගොස් බලා ගන්න පුළුවන්. අද ගොවි පවුල්වල සියලුම කණකර ආභරණ, නඟුලේ සිට ට්‍රැක්ටරය දක්වා කෘෂි උපකරණ උකස් කර අවසානයි. හරකෙක් ඉන්නවා නම් ඒ සතාවත් උකස් කරන්න පුළුවන් නම් උකස් කරයි. ඒ වාගේ අන්ත අසරණ තත්ත්වයකට අද වී ගොවියා පත්වෙලා තිබෙනවා.
මෙතනදී කවුරු හරි අහන්න පුළුවන් වී වලට මීට වඩා ඉහළ මිලක් ලබා දීමට සහල් මෝල් හිමියන්ට නොහැකි ඇයි කියලා. ඒත් ඇත්ත තත්ත්වය තමයි වී වලට මීට වඩා වැඩි මිලක් ලබා දෙන්න වී මෝල් හිමියන්ට කිසිම ආකාරයක හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගහපු ගැසට් නිවේදන තුනකින් සහල් මිල හිර කරලා තිබෙනවා. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට මේ නීති කඩාගෙන යන්න බැහැ. හැබැයි සියලු වරප්‍රසාද ලබන මහා මෝල් හිමියන්ට එම හැකියාව තිබෙනවා. අද කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 340ක්. ඒත් පාලන මිල රුපියල් 260යි. මේ වෙනස රජයත්, පාරිභෝගික සේවා අධිකාරියත් දන්නවා. මම වගකීමෙන් කියනවා, පසුගිය මාස අටක කාලය තුළ මේ මහා පරිමාණ මෝල් හිමියන්ට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරියෙන් කිසිම නඩුවක් පවරා නැහැ.
ඒ වගේම කීරි සම්බා ගැන මේ දිනවල විශාල කතාවක් තිබෙනවා. නමුත් 2008 දී කිරී සම්බා වගාව ව්‍යාප්ත වීමත් එක්කම වී වගාව කඩාගෙන වැටුණා. හෙක්ටයාරකින් නාඩු සහල් කිලෝ 5000ක සහ සම්බා කිලෝ 4500ක අස්වැන්නක් ලැබෙද්දී කීරි සම්බා අස්වැන්න කිලෝ 4000යි. නාඩු සහල් අස්වැන්නට සාපේක්ෂව කතා කළොත් කීරි සම්බා අස්වැන්න අඩුයි. මේක බරපතළ තත්ත්වයක්. අපේ සහල් අවශ්‍යතාව වර්ධනය වෙමින් තිබුණත් වගා කළ හැකි භූමිය තව දුරටත් පුළුල් කළ නොහැකියි. නිෂ්පාදන වියදම, යෙදවුම් වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒත් කීරි සම්බා වගාව ප්‍රචලිත වීමත් එක්ක අපේ වී අස්වැන්න 20%ක් අඩු වෙමින් පවතිනවා. මේක බරපතළ තත්ත්වයක් නෙමෙයිද ?
ඒ වගේම සහල් නිෂ්පාදනය අතින් සලකා බලන විට නාඩු වී කිලෝ 100කින් සහල් කිලෝ 65ක් නිෂ්පාදනය කළ හැකි වුණත් කීරි සම්බා වී කිලෝ 100කින් ලැබෙන්නේ සහල් කිලෝ 55ක් පමණයි. ඒ කියන්නේ සහල් නිෂ්පාදනයේ දීත් පැහැදිලිව 10%ක පාඩුවක් සිදුවෙමින් තිබෙනවා. මේ අනුව මම කියන්නේ කීරි සම්බා නිෂ්පාදනය ප්‍රචලිත කිරීම දිගින් දිගටම සිදු වුණොත් අපට යළිත් මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර පැවැති යුගයට යාමට සිදුවෙයි. සහල් ආනයනය කිරීමට සිදුවෙයි. ඒ වගේම තමයි පසුගිය කාලය පුරා, 2019 දී පැවැති ජනාධිපතිවරණය හැරුණු කොට සහල් ආනයනය කරලා අඩුවට සහල් දීලා ඡන්ද ටික කඩාගෙන තිබෙනවා. මේ වසරේදීත් සැප්තැම්බර් විතර වෙද්දී පරණ සෙල්ලමම සිදුවෙිවි.
වී ගොවියට ප්‍රමාණවත් ආදායමක් සහතික නොකරන මේ තත්ත්වය දිගින් දිගටම සිදු වුණොත් වී ගොවිතැන ‘පාර්ට් ටයිම්’ ජොබ් එකක් බවට පත්වෙන එක නතර කරන්න නොහැකි වේවි. ඒ වගේම තමයි මේ වන විට මහා පරිමාණ මෝල් හිමියෝ වගේම ‘මහා පරිමාණ වී ගොවියොත්’ බිහි වෙමින් තිබෙනවා. ඒ නිසා බොහොම ඉක්මනින් පූර්ණ තරඟකාරී ව්‍යාපාරයක් වන වී වගාව සහ සහල් නිෂ්පාදනය ‘කතිපයාධිකාරී’ තත්ත්වයකට යාමේ අනතුරක් තිබෙනවා. වී වගාව සහ සහල් නිෂ්පාදනය කතිපයාධිකාරී වෙළෙඳපොළකට යනවා කියන්නේ රටේ ආහාර සුරක්ෂිතභාවය සහ ජාතික ආරක්ෂාව පවා බරපතළ අනතුරකට ලක්වන කරුණක් වෙනවා.
තවත් බරපතළ කරුණක් ගැනත් මෙහිදී අවධානය යොමු කළ යුතුයි. කෘෂිකර්ම අමාත්‍යාංශයක් තිබුණට වී ගොවිතැන ගැන තීන්දු – තීරණ ගන්නේ ඒ අමාත්‍යාංශය නොවෙයි. විවිධ රාජ්‍ය ආයතන විසින් තමයි වැදගත් තීන්දු – තීරණ ගන්නේ. මේ නිසා රටට කෘෂිකර්ම අමාත්‍යාංශයක් අවශ්‍ය නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි අවධාරණය කරන්නේ ගොවියාට සාධාරණ ලාභයකුත් නැති, පාරිභෝගිකයාට සාධාරණ මිලකුත් නැති මේ අරාජික ගමන නතර කිරීමට වහාම පියවර ගත යුතුයි.
කෘෂිකාර්මික ඵලදායීතාවය තීරණාත්මකයි – ආචාර්ය හර්ෂ ද සිල්වා
“ මෙම කරුණ ගැන මම අංශ තුනක් යටතේ සාකච්ඡා කිරීමට කැමතියි. ඒ රජය, වී ගොවියා සහ සහල් නිෂ්පාදකයා යන පාර්ශ්ව තුන ගැනයි. රජය පාර්ශ්වයෙන් ගත් විට ප්‍රතිපත්තිමය වශයෙන් කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා රජය විසින් ගත යුතු පියවර මොනවාද ? ලංකාවේ තත්ත්වය ගත්තොත් අපේ කෘෂිකර්මාන්තයේ ඵලදායීතාවය ඉතාම අඩුයි. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්තිය කෘෂිකාර්මික ඵලදායීතාවය වැඩි දියුණු කිරීමට යොමු විය යුතුයි. උදාහරණයක් ලෙස මේ වන විට සිදුවෙන කෘෂිකාර්මික ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ හොඳ දෙයක්. ඊළඟට යෙදවුම් පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය කුමක් ද ? උදාහරණයක් ලෙස බීජ ගැන රජයේ ප්‍රතිපත්තිය කුමක් විය යුතු ද ? ජලය සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය කුමක් විය යුතු ද ? පොහොර සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක් විය යුතු ද ? මේ කෘෂිකාර්මික යෙදවුම් සම්බන්ධ රාජ්‍ය බදු ප්‍රතිත්තිය කුමක් ද ? ආදි වශයෙන් රජය විසින් කෘෂිකාර්මාන්තය සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනය කර ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. එවැනි ප්‍රවේශයක් තුළින් පමණයි අපට කෘෂිකර්මාන්තයේ තිරසරභාවයක් ලබාගත හැකි වන්නේ.
එසේම ගොවියටත් සුවිශේෂ වගකීමක් හා කාර්යභාරයක් පැවරෙනවා. වගා කරන බෝගය කුමක්ද ? වගා වපසරිය කොපමණ ද ? අස්වැන්න නෙළා ගන්නේ කවදාද ? යන්න ඔහු විසින් තීරණය කළ යුතුයි. මෙහිදී ‘කෘෂිකර්ම වෙළෙඳපොළ තොරතුරු ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. මම දකින ආකාරයට කෘෂිකාර්මික තොරතුරු වෙළෙඳපොළක් කියලා එකක් නැහැ. ලංකාවේ ක්‍රියාත්මක වන්නේ අතිෂයින් ‘අසමමිතික’ තොරතුරු වෙළෙඳපොළක්. සුපිරි වෙළෙඳසැල් ඇතුළු ජාලවලට හොඳ තොරතුරු පද්ධතියක් තිබුණත් ඒක ගොවියට නැහැ. මේ නිසා ගොවියා අන්ත අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා දියුණු කෘෂි ව්‍යවසායකත්වයක් වෙත යන්න නම් දියුණු කෘෂිකාර්මික තොරුතුරු පද්ධියක් තිබිය යුතුමයි. ඒක දැඩි අවශ්‍යතාවක් ලෙස මම සලකනවා.
ඒ වගේම තමයි වගා කරන විට භාවිත කළ යුතු තාක්ෂණය කුමක්ද ? කියා ගොවියා විසින් නිවැරදිව කල්පනා කළ යූතුයි. ඔහුට හැකියාවක් තිබිය යුතුයි නව තාක්ෂණය භාවිත කිරීම සහ එය අත්පත්කර ගන්නේ කෙසේද ? යන්න පිළිබඳව. ඒ වගේම පසු අස්වනු තාක්ෂණය, නිෂ්පාදන ගබඩා කිරීම ඇතුළු පුළුල් වගකීමක් ගොවියා සතුව තිබෙනවා. මේවා ගොවියගේ වගකීම් ලෙස මම දකිනවා.
සහල් ව්‍යාපාරිකයින්ගේ පැත්තෙන් සලකා බැලුවහොත් අද තිබෙන බරපතළම තත්ත්වය තමයි සහල් ‘කතිපයාධිකාරියක්’ බිහිවී තිබීම. ඒ වගේම ගොවීන්ගේ නිෂ්පාදන ගබඩා කිරීමට අදාළව විධිමත් ගබඩා ජාලයක් රටපුරා ස්ථාපිත කළ යුතුයි. ඒවා හරහා සියලුම බෝග විධිමත් ලෙස ගබඩා කිරීමට පහසුකම් සැලසිය යුතුයි. අවසාන වශයෙන් මම කියන්නේ කෘෂිකර්මාන්තයට අදාළ සියලුම වේදිකා නවීන තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය හරහා ජාලගත විය යුතුයි. එවැනි ප්‍රවේශයකින් තොරව අපට දියුණු කෘෂිකර්මාන්තයක් බිහිකර ගත නොහැකියි”
සැකසුම – තුෂාල් විතානගේ