December 4, 2024

Kathika #140 : Should our Electoral Method change? How?

මැතිවරණ ක්‍රම වෙනස් විය යුතු ද? ඔබේ අදහස කුමක් ද? | August 06, 2023
FULL VIDEO : https://www.facebook.com/nationalmovementforsocialjustice/videos/618355943767214
OPEN DISCUSSION MODERATED BY : Prof. Rohan Samarajiva

මැතිවරණ ක්‍රම වෙනස්කිරීම ගැන විවෘත සංවාදයේ නිගමන

  1. පළාත් පාලන මැතිවරණ
    1. පවතින නීතිය යටතේ සභිකයන් 8,700කට අධික සංඛ්‍යාවක් පත් වෙනු ඇත. එය අඩු කල යුතුද? අඩු කරන්නේ කුමන සංශෝධනයක් මගින්ද?
    1. දැනට පවතින කේවල සහ ලැයිස්තු සම්මිශ්‍රිත ක්‍රමය වෙනස් කර ශුද්ධ කේවල ක්‍රමයක් මගින් පක්ෂ ලැයිස්තු වලින් පරිබාහිරව පුරවැසියන්ට තනිවම ඡන්දයට ඉදිරිපත් වීමට අවස්ථාවක් සැලසිය හැකිද?
    1. කේවල ක්‍රමය තුලින් කාන්තා නියෝජනය සලසා දිය හැකිද?

කේවල ක්‍රමයට යෑම ගැන සියල්ලන් එකඟය. පවතින සීමා නිර්ණය යටතේ ගියොත් 4000 ගණනකට සභික සංඛ්‍යාව සීමා කල හැක. යෝජිත අලුත් සීමා නිර්ණය යටතේ කලොත් 3000 ගණනකින් බේරා ගත හැක.

විධායක බලතල සහිත සභාපති/නගරාධිපති තනතුර වෙනම ඡන්දයකින් (දෙවැනි ඡන්ද පත්‍රිකාවකින්) පත් කර ගන්නේද, සභිකයන්ගේ වැඩි ඡන්දයෙන් පත් කර ගන්නේද යන්න ගැන හිටපු සභාපති/නගරාධිපති හමුවකින් ඉක්මනට තීන්දු කල යුතුය.

කාන්තා නියෝජනය ගැන විවිධ විකල්ප ඉදිරිපත් විය. (අ) දෙවෙනි ඡන්ද පත්‍රිකාවක් මගින් හැම කොට්ඨාසයකට පුරුෂයෙක් සහ කාන්තාවක් පත් කර ගත හැක. මේ සඳහා අලුත් 3000ක පමණ සීමා නිර්ණය අවශ්‍ය වේ. (ආ) ඉන්දියාවේ මෙන් කලින් කලට කොට්ඨාස කාන්තාවන්ට වෙන් කල හැක. (ඇ) යුගල වශයෙන් කාන්තාවක් සහ පුරුෂයෙක් ඡන්දය ඉල්ලිය යුතුය. දිනන යුගලය මාස හයෙන් හයට ධුරයේ වගකීම් ඉටු කල යුතුය.

සභිකයන්ට ගෙවීම් නොතිබිය යුතුය.

  • පළාත් සභා මැතිවරණ
    • සුමන්තිරන් මන්ත්‍රීතුමාගේ පුද්ගලික යෝජනාව අනුව ආපසු පැරණි මනාප සහිත ක්‍රමයට යෑම ප්‍රඥාගෝචරද?
    • පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ එකට ඈඳීම මගින් වියදම් අඩු කරගෙන වඩා හොඳ ප්‍රතිපල ලබා ගත හැකිද?

කිසිදු වෙනසක් නොකර 2018 තෙක් තිබුණු මනාප සමග සමානුපාතික ක්‍රමයට යෑම ගැන එකඟත්වයක් නැත. අලුතින් සීමා නිර්ණය කර මහා මැතිවරණයට භාවිතා කරන ක්‍රමය පළාත් සභා වලටත් යොදා ගැනීමට යම් සහයෝගයක් ඇත. මෙයින් සුළු ජාතික පක්ෂ වලට අකටයුත්තක් වන්නේද යන්න ඔවුන් සමග සාකච්ඡා කල යුතුය.

පළාත් පාලන ආයතන වල සභාපති/නගරාධිපතිවරුන් පළාත් සභාවට නිල බලයෙන් පත් කෙරෙන ක්‍රමවේදයක් යෝජනා කෙරුණි. එයින් 13 සංශෝධනයේ හරයට හානියක් වන්නේද, එවන් නියෝජිතයන්ගෙන් සැදුම් ලත් පළාත් සභාවකට පළාත් පාලන ආයතන නිසි ලෙස අධීක්ෂණය කල හැකිද, ආදී ප්‍රශ්න මතු කරන ලදී.

ජයග්‍රාහී පක්ෂයට පමණක් සියලු බලතල හිමි නොවන, බලය බෙදා ගන්නා ක්‍රමවේදයක වටිනාකම පෙන්වා දෙන ලදී.

කෙටි කාලයක් තුල ඉහත සංශෝධන කිරීම අතාත්වික බව පෙන්වා දෙන ලදී.

  • පාර්ලිමේන්තු මැතිවරණය
    • පළාත් පාලන මැතිවරණ හරහා අත්හදා බැලු සම්මිශ්‍රිත ක්‍රමය පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන් පත් කර ගැනීමට උචිතද?
    • එසේ නැති නම්, වඩා කුඩා කොට්ඨාසවල ද්විත්ව සහ ත්‍රිත්ව ලැයිස්තු මගින් සමානුපාතික නමුත් කොට්ඨාසයට වගකියන, එමෙන්ම වියදම අඩු ක්‍රමයකට යමුද?

වඩා කුඩා කොට්ඨාසවල ද්විත්ව සහ ත්‍රිත්ව ලැයිස්තු මගින් සමානුපාතික නමුත් කොට්ඨාසයට වගකියන, එමෙන්ම වියදම අඩු ක්‍රමයකට සහයෝගයක් ඇත. අලුත් සීමා නිර්ණයක් අවශ්‍යය.

මැතිවරණ වියදම් සීමා කරන අණපනත් පනවා ඒ යටතේ ක්‍රියා කල යුතුය.

සෘජු ප්‍රජාතන්ත්‍රවාදී අංග හඳුන්වා දිය යුතුය.

ඉහත සංකීර්ණ වෙනස්කම් 2025ට පෙර අනුමත කර ගැනීමට කඩිනම් වැඩ පිලිවෙලක් අවශ්‍යය. 

  • ජනාධිපතිවරණය
    • විශාල වියදමකින් යුතුව පැවැත්වෙන, එමෙන්ම ආර්ථීකයට හානි පමුණුවන වර්තමාන ක්‍රමය වෙනුවට පාර්ලි‌‌මේන්තුව සහ පළාත් සභිකයන් ගෙන් සමන්විත ඡන්දදායක ගණයකින් (electoral college) ජනාධිපති පත් කරගන්නා ක්‍රමයකට යමුද?

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ජන මත විචාරණයක් අවශ්‍යය. එය ජනාධිපති ධුරය නාමික ධුරයක් බවට පත්කැරෙන අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවක අනිවාර්ය අංගයක් වනු ඇත. නමුත් දැන් තියෙන ජනාධිපති පදවිය සහ එහි බලතල වෙනස් නොකර, ජනාධිපති පත් කරගන්නා ක්‍රමවේදය වෙනස් කර වර්තමාන ක්‍රමවේදය තුලින් වන ඉමහත් හානි අවම කර ගත හැක.

ඡන්දදායක ගණය කුමක් විය යුතුද යන්න මූලික තීරණය ගත් පසු තීරණය කල යුතුය. උත්තර මන්ත්‍රී සභාවක් ඇති කරන්නේ නම් එය එකතු කිරීමෙන් ගණය සකසා ගත හැක. නැතිනම් පාර්ලි‌‌මේන්තුව + පළාත් සභා විය හැක. එසේත් නැතිනම්, පාර්ලි‌‌මේන්තුව + පළාත් සභා + පළාත් පාලන ආයතන වල සභාපති/නගරාධිපති වරුන් විය හැක.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *